Archives

You are currently viewing archive for January 2014
Category: Sinhala
Posted by: admin
දකුණු සුඩානයේ ඇති වී තිබූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් තාවකාලිකව එරටට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම අත්හිටවූ අතර යලිත් හෙට සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැකියා සඳහා යැවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.
පසුගිය මාස කිහිපය තුළ දකුණු සුඩාන රජය හා කැරලි කණ්ඩායම් අතර ඇතිව තිබූ ගැටුම්කාරී තත්වය නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැකියා සඳහා යැවීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් කාර්යාංශයට උපදෙස් දී තිබිණි. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු සුඩානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදෙන ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබිණි.
එහෙත් මේවන විට දකුණු සුඩානයේ රජය හා කැරලිකරුවන් අතර සාමකාමී වාතාවරණයක් උදාවී තිබීම හේතුවෙන් එසේ තාවකාලිකව අත්හිටුවා තිබූ ලියාපදිංචිය නැවත කි‍්‍රයාත්මක කරන ලෙස අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව කිසිඳු බාධාවකින් තොරව හෙට සිට යළිත් දකුණු සුඩානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පිටවීමට අවසර හිමිවේ.
දකුණු සුඩානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති හෙයින් එහි කටයුතු උගන්ඩා තානාපති කාර්යාලය හරහා සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. එහෙත් දකුණු සුඩානයේ යලිත් ගැටුම්කාරී හදිසි තත්වයක් ඇතිවුවහොත් ඒ පිලිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බව කාර්යාංශය නිවේදනය කරයි.


Category: Sinhala
Posted by: admin
මේ වසරේදී ගෘහ සේවිකාවන් රට යැවීම තවත් අඩු කරනවා
ඇමති ඩිලාන් කියයි.


විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් 2014 වසරේදී ලබාදෙන සේවාවන් තවත් වැඩි කිරීමටත්, ව්‍යාප්ත කිරීමටත් පියවර ගන්නා බව, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. 2012 වර්ෂයේදී ඔවුන් වෙනුවෙන් විශාල සේවාවන් රැසක් ඉටු කිරීමට තමන්ට හැකි වූ බවත්, ඒ සඳහා සහය දැක්වූ සැමට ගෞරවය හිමිවන බවත් ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, නව වසරට සුභපැතීම සඳහා ඊයේ කාර්යාංශයේදී පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කළේ, 2012 වර්ෂයේදී කාන්තාවන් විශේෂයෙන් ගෘහ සේවිකාවන් විදේශ ගත කිරීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් වල ප්‍රතිඵලයක් ලෙස 2012 වර්ෂයට සාපේක්‍ෂව 2013 වර්ෂයේදී කාන්තාවන් විදේශ ගතවීම 20937 කින් පමණ අඩුවී තිබෙන බවයි. ඒ අනුව අදාළ කාලය හා සැසඳීමේදී 2013 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් 30146 දෙනෙකු වැඩියෙන් විදේශ ගතවී තිබෙන බවද ඔහු සඳහන් කළේය. (2013 වසරේ පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම 143784, 2013 වසරේ පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම 173930) 2013 වර්ෂයේදී රටවිරුවන්ගෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 80,000 ක් ලැබී තිබේ. මෙය 2012 වර්ෂය හා සැසැඳීමේදී රුපියල් කෝටි 12000 ක පමණ ඉහළ යාමකි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙලෙස සුවිශාල දායකත්වයක් ලබාදෙන ක්ෂේත්‍රය පිළිබඳව ජනමාධ්‍ය ඉහළ ප්‍රතිචාරයක් දක්වන බවත්, ඒ වෙනුවෙන් ජනමාධ්‍යට තමන් මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කෙසේ වුවද ඇතැම් ප්‍රවෘත්ති මගින් මෙම ක්ෂේත්‍රයේ යහපත් තත්වය පිළිබඳව ජනතාව වැරදි අවබෝධයක් ලබා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

2014 වර්ෂයේදී රටවිරුවන් වෙනුවෙන් සුභසාධන පහසුකම් වැඩි කිරීම සඳහා වැඩියෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට උපදෙස් ලබාදී ඇති බවත්, රටවිරු නිවාස ව්‍යාපෘතිය තවදුරටත් එමගින් දීප ව්‍යාප්තව සිදුකරන බවද අවධාරණය කළේය. එතෙර තානාපති සේවාවල, විදේශ ගත ශ්‍රමිකයින්ට ලබා දෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නිළධාරීන් පත් කිරීමටත් කටයුතු කරන බවද ප්‍රකාශ කළේය. කෙසේ වුවද මෙවැනි කාර්යයන් වලදී කාර්යාංශයේ ඇතැම් සේවක සංගම් වලින් යහපත් ප්‍රතිචාර නොලැබුනද රටවිරුවන් වෙනුවෙන් ඒ සියළු බාධක ජයගෙන, ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම සක්‍රිය කිරීමට තම උපරිම කැපවීම 2014 වර්ෂය තුළදී ද යොදවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී කාර්යාංශයේ සියළුම අංශවල සේවාවන් ලබාගත හැකි දුරකථන නාමාවලිය අමාත්‍යතුමාට භාරදීම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී හරිස්චන්ද්‍ර බටගොඩ මහතා විසින් සිදුකරන ලදී. මෙහිදී අමාත්‍යංශයේ ලේකම් කර්නල් නිශ්ශංක එන් විජේරත්න, සභාපති අමල් සේනාලංකාධිකාර යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.

20140102-adedf.jpg

20140102-img_news.jpg