ඇමති ඩිලාන් පෙරේරා.............


ලෝක ආර්ථික අර්බුද හමුවේ පවා ඇද නොවැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේවන විට සියයට 9ක අගයකට ආසන්න වී ඇති බවත්, එහිදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරට විදේශ විනිමයේ ප්‍රධාන කොටස් කරුවන් වෙමින් ජාතික ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය ප්‍රශංසනීය බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. වසර 30ක් පැවති එල්ටීටීඊ ත‍්‍රස්තවාදී යුදධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ රණවිරුවන් පරාජය කළ බවත් දිනාගත් දේශයේ ආර්ථික යුද්ධය ජය ගැනීමට පෙරටුගාමී මෙහෙවර ඉටුකරන්නේ විදේශගත ශ්‍රමිකයින්බවත් පැවසූ අමාත්‍යවරයා එම ශ්‍රමිකයන් වෙනුවන් ඉටු කළ හැකි ඉහළම සත්කාරය නම් ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බව පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ විදේශ ගත ශ්‍රමිකයින්ගේ දූදරු කුසලතා ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ “මතු අස්වනු උදෙසා ළමාකෙත අස්වැද්දුම” 2010/11 සමස්ත ලංකා තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ සැප්. 13 පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. සිංහල හා දෙමළ භාෂා මාධ්‍යයෙන් පැවති එම තරගාවලිය යටතේ 2010 වසරේ කථික, ගායනා, චිත්‍ර හා රචනා අංශයන්ගෙන් ප්‍රථම, දෙවන, තෙවන හා කුසලතා ජයග්‍රහන ලැබූ 289 දෙනෙකුට එහිදී ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කෙරිණි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වමින්, ”විගමනික ශ්‍රමිකයන්ගේ මූලිකම බලාපොරොත්තුව දරුවන්. ඔවුන් විදේශගත වන්නේ දරුවන්ට පැහැදිලි අනාගතයක් ගොඩනගන්නයි. තමන්ට වඩා හොඳ හෙට දවසක් තම දරුවන්ට තනාදීම ඔවුන්ගේ අපේක්ෂාවයි. දෙමව්පිය උණුසුමින් රැකවරණයෙන් ඈත්වන මේ දරුවන් සාසල් ජීවිත කාලය තුළ පංතිකාමරයේදී දක්වන දක්ෂතාවයන් ඇගයීම කාර්යාංශය ක්‍රියාවට නංවන අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනින් සිදු කෙරෙනවා. අප මෙහි දී පංති කාමරයෙන් පිටත දක්ෂතා දක්වන විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් ඇගයීමට ලක්කරනවා. මේ දරුවන් කථික ගායනා සිතුවම් කියන කුමන අංශයෙන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වුවත් ඒවායේ තේමාව වී තිබෙන්නේ මව්පියවරු. විදේශගතව රැකියා කරන ශ්‍රමිකයින්ට දැක්විය හැකි ඉහළම උපහාරය වන්නේ මෙම දරුවන් නිරන්තර ඇගයීමට ලක්කිරීමයි. දිවයිනේ දක්ෂතම ගායනා හැකියාවන් දැක්වූ විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ නිර්මාණ ඇතුලත් සීඩී තැටියක් නිශ්පාදනය කිරීමට පියවර ගෙන ඇත්තේද ඒ හේතුවෙන් යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය “දෙමව්පිය රැකවරණය උණුසුම තරම් දරුවන්ට සමීප සෙනෙහසක් කොතනකවත් නෑ. මගේ මව විදේශගතව රැකියා කළ කාන්තාවක්. ඒ හේතුවෙන් විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් තුළ ඇති හැගීම් පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. තනිකමක් ඇතිව ජීවත්වන මෙම දරුවන් ඇගයීම ඉතාම වටිනවා. මේ වේදිකාව ඔවුන්ට විශාල පන්නරයක් වේවි. මේ දරුවන්ගේ දෙමව්පියන් විදේශගතව රැකියා කරන්නේ සතුටින් නෙවෙයි. ඔවුන්ගේ සතුට මෙම දරුවන්. ඒ හේතුවෙන් මේ දරුවන් ඇගයීම බොහෝ වටිනවා” යැයි පැවසුවාය.

කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක “පසුගිය කාලය මුලූල්ලේ විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කාර්යාංශය විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. දරුදිරිය ජාතික වැඩසටහනේදී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම විදේශගතවී ඇති ශ්‍රමිකයින්ගේ දරුවන් පාසල් මට්ටමින් කාර්යාංශය හා සම්බන්ධ වෙනවා. මේ හේතුවෙන් අපට හැකිවී තිබෙනවා මූලික රැකවරණය පවා අහිමි වූ විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් ආරක්ෂා කිරීමට. දරුවන් වෙනුවෙන් දියත් කෙරෙන මේ වැටසටහන් කාර්යාංශයේ සුබසාධන ව්‍යාපෘති අතර ප්‍රමුඛ ස්ථානයේ තබා අප කටයුතු කරනවා” යැයි පැවසීය.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති ජගත් වැල්ලවත්ත ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති සේනක අබේගුණසේකර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

20110915-img_7904.jpg

20110915-picture328.jpg