රුපියල් මිලියන 375ක වියදමින් ඉදිකෙරෙන ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණයට මුල් ගල් තැබීම අද පෙරවරුවේ ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී සිදුකෙරිණි.

යෝජිත ක්‍රීඩා සංකීර්ණය මීටර් 400 ධාවන පථයක්, පුහුණු ධාවන පථයක්, අංග සම්පූර්ණ ප්‍රේක්ෂකාගාරයක්, මීටර් 50 ප්‍රමාණයේ පිහිණුම් තටාකාංගනයක්, ගෘහස්ත ක්‍රීඩාගාරයක් හා වෛද්‍ය ඒකකයක් ඇතුලූ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයකට ඇතුළත් විය යුතු තවත් අංග රැසකින් සමන්විතවේ. මෙහි ඉදිකිරීම්, ඉන්ජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් සිදුකරණු ලබන අතර ඉදිරි වසරේ අගභාගය වනවිට ඉදිකිරීම් කටයුතු නිම කොට ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. මුල් ගල් තැබීමේ උත්සව අවස්ථාවට යලි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍ය ගුණරත්න වීරකොන්, ඌව පළාත් ක්‍රීඩා හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය අකලන් සෙන්දිල් තොන්ඩමාන් යන මහත්වරු ඇතුළු දේශපානඥයින් රැසක් හා රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ. අමාත්‍යවරු ක්‍රීඩා සංකීර්ණයේ සමරු ඵලකය විවෘත කළ අයුරු හා එහි සැලැස්ම පරික්ෂාවට ලක්කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

20110928-img_0705.jpg

20110928-img_0744.jpg