කාල්ටන් සුවඋදාන සෞඛ්‍ය සායන වැඩසටහන යටතේ විශේෂඥ වෛද්‍ය සායනයක් පසුගියදා (දෙසැ22) බදුල්ල ඇටැම්පිටිය ගාවෙල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි. ඩිලාන් පෙරේරා සහයෝගිතා පදනම දින හතරක් පුරා ඇමතිකමට එක්වසරක් මැයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව යටතේ මෙය පැවැත්විණි. විශේෂඥ වෛද්‍යවරු රැසකගේ සහභාගිත්වයෙන් සර්වාංග, අක්ෂි, උගුර කන නාසා ආදී බටහිර වෛද්‍ය සායන හා දේශීය වෛද්‍ය සායන රැසක් එහි පැවති අතර ඊට ප්‍රදේශයේ විශාල ජනකායක් සහභාගිවී සිටියහ. බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ප්‍රදේශයේ ජනයාගේ පැසසුමට ලක්වූ අතර වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ පාසල්වලට පාසල් උපකරණ බෙදා දීම්, නායයාම්වලින් විනාශවූ නිවාස සදහා මූල්‍ය ආධාර පරිත්‍යාග කිරීම්, ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් රෝදපුටු පරිත්‍යාග කිරීම් ආදියද සිදු කෙරුණි. කාල්ටන් සුවඋදාන වැඩසටහනට සහභාගි වූ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයෙකු වෙනුවෙන් රෝද පුටුවක් භාරකරුවෙකු වෙත පරිත්‍යාග කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් කේ. ඞී. එල්. කේ ගුණවර්ධන මහතා ඇතුලූ රාජ්‍ය නිලධාරින් පිරිසක් හා ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක්ද සහභාගී වී සිටියහ.

20111229-suwa.jpg