කොරියානු භාෂා විභාගය සමත් වූවන්ගේ සියලූ තොරතුරු හා රැකියා ගිවිසුම් ලැබී තිබේද යන්න තමන්ටම සොයාබැලීමට දැන් හැකියාව උදාවී ඇති බව , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා පවසයි. කොරියානු රැකියා ගිවිසුම් සම්බන්ධ www.eps.go.kr වෙබ් අඩවියේ රැකියා අපේක්ෂිතයාගේ අන්තර්ජාල ගිවිසුමක් විවෘත කරගැනීමෙන් අනතුරුව අදාල අපේක්ෂකයාටම තම රැකියා ගිවිසුම් , කොරියානු මානව සම්පත් ආයතනයෙන් තමාට ලැබී ඇත්දැයි මේ අනුව පරීක්ෂා කළ හැකිය. අදාල ගිණුම විවෘත කිරීමෙන් අනතුරුව ලැබෙන රහස් අංකය භාවිතා කිරීමෙන් නිවසේ සිටම අදාල තෙරතුරු ලබාගැනීමට මේ අනුව පහසුකම් සැලසේ.

අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ විශේෂ උපදෙස් මත මෙම නව වැඩ පිළවෙල ක්‍රියාත්මක වන අතර, එමගින් වඩාත් විනිවිදභාවයකින් යුතුව අදාල තොරතුරු , කොරියානු විභාගය සමත් වන්නන්ට බලා ගැනීමට හැකියාව ලැබෙන බවද අමල් සේනාලංකාධිකාර මහතා පවසයි. එසේම මෙම ක්‍රමය මගින් කොරියානු රැකියා අපේක්ෂකයන් අතරමැදියන්ට හා වංචාකරුවන්ට හසුවීම වැළැක්වේ. එසේම කොරියානු රැකියා අපේක්ෂිතයින් තම තොරතුරු කිසිවිටෙකත් වෙනත් පුද්ගලයකුට දීමෙන් වළකින ලෙසද කාර්යාංශය දන්වා සිටී. එලෙස වෙනත් පුද්ගලයන්ට තොරතුරු ලබාදීමෙන් , අන්අයෙක් ගිණුම් ආරම්භ කළහොත් , නැවත් ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව නොලැබේ. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ විශේෂ ඉල්ලීම මත කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් මෙම සේවා පහසුකම් ලබාදී තිබේ.

2011 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා තෝරාගත් අපේක්ෂිතයින්ගේ සියලූ තොරතුරු කඩිනමින් අන්තර්ජාලයට (වෙබ් අඩවියට) ඇතුලත් කරමින් තිබේ. විභාගය සමත්වූවන්ගේ වාර්තා , පොලිස් වාර්තා සහ විභාගයට පෙනීසිටීමට ලබාදුන් තොරතුරු හා විකාශනය සමත් වූ පසු කාර්යාංශයට ලබාදුන් තොරතුරු හා විභාගය සමත් වූ පසු කාර්යාංශයට ලබාදුන් තොරතුරුවල නිරවද්‍යයතාවය තහවුරු කරගත් සියලූම අපේක්ෂකයන් ඒ අතර වේ . 2011 කොරියානු භෂා ප්‍රවීනතා විභාගයෙන් , 9998 දෙනෙක් සමත්විය.
2010 වසර විභාගය සමත් වූවන්ගෙන් මේ වනවිට 5000 කට වැඩි ප්‍රමාණයක් රැකියා සඳහා පිටව ගොස් ඇති අතර, තවත් 275 දෙනෙක් වෙබ් අඩවියේ පොරොත්තු ලේඛනයේ සිටිති.

දකූණු කොරියාවෙන් තමන් වෙත රැකියාවක් ඉක්මනින් ලබා ගැනීම සඳහා කිසිම පාර්ශවයකගෙන් සහය ලබානොගන්නා ලෙසත්, ඒ සඳහා කිසිම පුද්ගලයකුට මුදල් නොගෙවන ලෙසත් අමල් සේනාලංකාධිකාර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.