ඉදිරියේදී විදේශ රැකියා සඳහා යවන ශ්‍රී ලාංකිකයන් අනිවාර්යයෙන්ම ජාතික වෘත්තීය සුදුසුකම තුන්වන මට්ටම (NVQ Level -3) සම්පූර්ණ කර තිබිය යුතු බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය නීතිඥ ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. මෙම සැප්තැම්බර් මස පළමුවන දිනසිට මෙය ආරම්භ කරන බවත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වෘත්තීයමයභාවය ඉහළ දමමින් ඉතා ඉහළ පිළිගැනීමක් සහ වැඩි වැටුප් ලබාගතහැකි පරිසරයක් එමගින් ඇතිකර ගැනීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත්බවත් අමාත්‍යවරයා පැවසීය.

ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකළේ පසුගිය දා ඕමානයේ පැවති රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුරදී ඕමානයේ ඉහළ රැකියාවල නියුතු හා ව්‍යාපාරවල නියුතු ශ්‍රී ලාංකිකයන් ඇමතීම සඳහා ඕමානයේ මස්කට් හොලිඬේ හෝටලයේ පැවති විශේෂ හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශකළේ ඉදිරියේදි ඕමානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් එරටේ උසස් හා වෘත්තීය මට්ටමේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එවීමට කටයුතු කරන බවයි. තවද ගෘහසේවය සඳහා යැවීම දිරිමත් නොකර පුහුණු ශ්‍රමිකයින් යැවීමට උනන්දු කරන බව ද පැවසීය. අපේ රටට වැඩිම විදේශ විනිමය ලබාදෙන ඔබ ඇතුලූ විගමනික ශ්‍රමිකයන් රට විරුවන් ලෙස නම්කරමින් ඔවුන්ට අභිමානයක් ලබා දෙමින් ඔවුන්ව අපේ රටට විශේෂිත පිරිසක් ලෙස අගය කිරීම පසුගිය වසරේ දෙසැම්බර් 18 දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනයේදී අපි ආරම්භ කළ බවත් , මෙරට ව්‍යාපාරවල නිරතව සිටින ඔබ වැඩිවශයෙන් අපේ රටේ ශ්‍රමිකයින් මෙරට රැකියා සඳහා ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසද මේ අවස්ථාවේදි අමාත්‍යවරයා ප්‍රකාශකරන ලදී.

වසර 30 ක් පුරා පැවති යුද්ධය නිමාකරමින් ලංකාව දැන් සංවර්ධනයේ මාවත ඔස්සේ වේගයෙන් ගමන් කරන අතර ඔබ හැදුණු වැඩුණු ගම වෙනදාට වඩා දියුණු කිරීමට රජය පියවරගෙන තිබේ. පාර කොන්ක්‍රීට් කරන්න , වේලි බඳින්න , විදුලිය ලබාදෙන්න, ජලය ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. ඕමානයේ වසර 25 , 30 වැනි කාලයක් ව්‍යාපාර කටයුතු කරන ශ්‍රී ලාංකිකයන් මව් රටට පැමිණ ව්‍යාපාර ආරම්භ කරන්න හොඳ පරිසරයක් රටේ උදාකර තිබෙනවා. ව්‍යාපාර ආරම්භ කරන්නන් හට වසර 05 ක බදු සහනයන්ද , අවශ්‍යය යන්ත‍්‍ර සූත‍්‍ර සඳහා වසර 05 ක බදු සහන ලබාදීමට රටවිරු ඔබට පසුගිය අයවැය යෝජනා තුලින් යෝජනා කරනු ලැබුවා. පසුගිය අයවැයෙන් ජනපතිවරයා ලබාදුන් එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රටේ සංවර්ධනයට දායකවන ලෙස මා ඉල්ලා සිටිනවා.

ඔබලාගේ දූ දරුවන්ට ඉගෙන ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන ලෙස කළ ඉල්ලීම ඉතා කාලෝචිත ඵලදායක ඉල්ලීමක් අපේ රජය ඒ සඳහා පියවරගනිමින් සිටිනවා. අවාසනාවකට රටේ ඇතැම් සුළු පිරිසක් එයට විරුදධව උද්ඝෝශන කරනවා. ඉදිරියේදී එම අවස්ථාව ඔබේ දරුවන්ට ලබා දෙන්න හැකිවේවි. එවිට ඔබලා උපයන මුදල් වෙනත් රටවල් වලට ඇඳී යාම වලක්වා අපේ රටටම යෙදවිය හැකියි. අපේ සංස්කෘතිය ඔබේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් .

මෙම හමුව සඳහා ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 350 කට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයක් වූ අතර අමාත්‍යවරයා සමඟ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශයේ ලේකම් කර්නල් නිශ්ශංක විජේරත්න, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර, විදේශ රැකියා ඒජන්සි පෞද්ගලික සමාගමේ සභාපති සේනක අබේගුණවර්ධන, ඕමානයේ ශ්‍රී ලංකා කන්සියුලර් මාධව දේශප්‍රිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඞී .ඞී. පී සේනානායක, යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.