අමාත්‍ය ඩිලාන් පෙරේරා


20120720-img_0300.jpg

දරුවන්ට දිය හැකි හොඳම දායාදය අධ්‍යාපනය බවත් ආගමික, භාෂා ආදී බෙදීම් නොසලකා දරුවන්ට එම දායාදය ලබාදීම රජයේ අරමුණ බවත් අධ්‍යාපනයේදී නාගරික පාසල් සඳහා ඇති තරගයට හොඳම විසඳුම ග්‍රාමීය පාසල් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයමින් ඒවා දියුණු කිරීම බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. අමාත්‍යවරයා පසුගියදා මෙම අදහස් පළකළේ 2011 වසරේ නාය යෑමෙන් විනාශයට පත්වූ බදුල්ල කෝට්ටගොඩ උඩගම කණිෂ්ඨ විද්‍යාලය නැවත ඉදිකොට සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමිණි.
නව පාසල ඉදිකිරීමට දකුණු කොරියාවේ බී.එෆ්.ඩබ්ලිව් නම් රාජ්‍ය නොවන සංවිධානය මුල්‍ය අනුග්‍රහය දක්වා තිබේ. පාසල ඉදිකිරීම සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 40කි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා ඉදිකෙරුණු නව පාසල සම්පත් අතින් හොඳම විද්‍යාලය බවට පත්ව ඇති බවත් එම පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය භාෂා මාධ්‍ය ලෙස ගනිමින් හා කොරියානු භාෂාව සහ වෙනත් භෂා උගන්වමින් පළාතේ හොඳම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය බවට එය පත්කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
නාය යෑමෙන් පාසල් විනාශ වී ගියත් දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය විනාශවීමට අවස්ථාව නොදිය යුතු බව පැවසූ අමාත්‍යවරයා ඌව පළාතේ හාලිඇල මැතිවරණ කොට්ඨාසයේ දරුවන් 16000කට වසරක් පාසා අභ්‍යාස පොත් ලබාදෙමින් දහම් පාසල් අධ්‍යාපනය සඳහා අතහිත දෙමින් දරුවන්ට ඉගෙනීමට කළ හැකි සෑම ආකාරයකටම උදව් උපකාර කරමින් ප්‍රදේශයේ දරුවන් ගේ අධ්‍යාපනය නගා සිටුවීම තම අරමුණ බවද පැවසීය. එහිදී දිගු කලක පටන් පවතින දකුණු කොරියානු ශ්‍රී ලංකා මිත්‍රත්වය ද සිහිපත් කළ අමාත්‍යවරයා සිය ඉල්ලීමකට අනුව බිඳිගිය පාසල නැවත ගොඩනැගීමට මුල්‍ය අනුග්‍රහය දැක්වූ එරට බී.එෆ්.ඩබ්ලිව් ආයතනයට ස්තූතිය පළ කළේය.
පාසල විවෘත කිරීමේ අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්දා රාජපක්ෂ මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ බී.එෆ්.ඩබ්ලිව් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

2011 වසරේ නාය යෑමෙන් විනාශයට පත්වූ බදුල්ල කෝට්ටගොඩ උඩගම කණිෂ්ඨ විද්‍යාලය නැවත ඉදිකොට සිසු අයිතියට පැවරීම පසුගියදා සිදු කෙරිණි. පාසල විවෘත කිරීමෙන් අනතුරුව සම්භාවනීය අමුත්තන් සමූහ ඡයාරූපයකට පෙනී සිටි අයුරු හා පාසල නිරීක්ෂණයට ලක්කළ අයුරු ඡායාරූපවල දැක්වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්දා රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැති ඇමතිවරු, දකුණු කොරියාවේ බී.එෆ්.ඩබ්ලිව් රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයින් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද ඡායාරූපවල වෙති.

20120720-img_9754.jpg

20120720-img_9902.jpg