ඇමති ඩිලාන් කියයි

හාලිඇල පාසැල් ගොඩනගන්නටත් දකුණු කොරියාවේ සහය

දකුණු කොරියාව සමග පවතින ආර්ථික, සමාජ, දේශපාලන, අධ්‍යාපනික සබඳතාවය තවදුරටත් ශක්තිමත් වී ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන් ලෝකයේ වේගවත් ආර්ථික සංවර්ධනයක් පවතින කොරියාව වැනි රටක සීග්‍ර සංවර්ධනය සමග රැකියා විශාල වශයෙන් බිහිවන අතර , එම රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට වැඩියෙන් ලබා දෙමින් දෙරට අතර නොබිදෙන ශක්තිමත් මිත්‍රත්වයක් ඇතිවී තිබෙන බව ඔහු කියා සිටී. ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ දකුණු කොරියාවේ BFW (Blessing Flowers World) ආයතනය මගින් ගොඩනංවන ලද හාලිඇල උඩගම කොට්ටෙගොඩ විද්‍යාලයේ පළමු සංවත්සර (2013/07/12) උත්සවයේදීය. මෙම විද්‍යාලය පසුගිය වසරේ සිදුවූ නායයෑමෙන් සම්පූර්ණයෙන් විනාශ වූ අතර, එම විද්‍යාලය නැවත ගොඩනැගීමට අමාත්‍යවරයා කොරියාවේ ආයතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එය පසුගිය වසරේදී නැවත අලූතින් ගොඩනැංවීය. මෙම පළමු සංවත්සරයට BFW ආයතනයේ ලේකම් ජුන් කි කිම් (Jun Ki Kim), කිම් වුන් වු (Kim Eun Woo) මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ නායයෑමෙන් විනාශ වූ මෙම විද්‍යාලයේ ගොඩනැගිලි යලි ඉදි කිරීම සඳහා තමන් ඩිලාන් පෙරේරා පදනම සමග කොරියාවෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එරට BFW නම් ආයතනය ක්ෂණිකව ඉදිරිපත් වී ඉතාම ඉක්මණින් විද්‍යාලය යලි සිසුන්ට අධ්‍යාපනය හැදෑරීමට ඉදිකර දුන් බවයි. මෙම විද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන්ගේ නැණස පාදන්නට එලෙස උපකාර කිරීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් දකුණු කොරියාව මෙම ප්‍රදේශයට දක්වන විශේෂ සැලකිල්ලක් බවත් සදහන් කලේය.

මෙහිදී අදහස් දැක්වූ BFW ආයතනයේ ලේකම් ජුන් කි කිම් මහතා ප්‍රකාශ කලේ නායයෑමෙන් විනාශ වූ මෙම විද්‍යාලය ගොඩනැංවීමට ඩිලාන් පෙරේරා මහතා කල ඉල්ලීමත් මෙහි ඉගෙනගන්නා සිසුන්ගේ අහිංසකත්වයත් මුල්කොට ගෙන සිසුන්ට මෙම විද්‍යාලය ඉතාම ඉක්මණින් ගොඩනැංවීමට තම ආයතනය කටයුතු කල බවයි. අමාත්‍යවරයා ඒ සඳහා දැක්වූ උනන්දුව කැපවීම තමන් ඉතාම අගය කරන බවද ඔහු සදහන් කලේය. එම නිසා හාලිඇල ප්‍රදේශයේ තවත් පාසැලක් ගොඩනැංවීමට තම ආයතනය කටයුතු කරන බවද ඔහු සඳහන් කලේය. ඒ සඳහා අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විශේෂයෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කලේය. ශ්‍රී ලංකාව ලබා තිබෙන සීග්‍ර සංවර්ධනය පිළිබඳව සතුටු වන බවත් හැකි සෑම විටම මෙරට සංවර්ධනයට උදව් කරන බවත් සඳහන් කලේය.

මෙම අවස්ථාවට හාලිඇල උඩගම කොට්ටෙගොඩ විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.කරුණාරත්න මහතාද එක්වී සිටියහ.

20130715-kottegoda2.jpg
අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා, කොරියානු ආයතනයේ BFW ආයතනයේ ලේකම් ජුන් කි කිම් (Jun Ki Kim), කිම් වුන් වු (Kim Eun Woo) යන මහත්වරුන් පොල්තෙල් පහන දැල්වූ අයුරු


20130715-kottegoda1.jpg
ගොඩනංවන ලද විද්‍යාලීය ගොඩනැගිල්ල