-ඇමති ඩිලාන්

ශ්‍රී ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගෙන එන්නේ විදේශගත ශ්‍රමිකයින් බවත් නමුත් ඔවුන් මීට පෙර නිසි පිළිගැනීමක් නොලද බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සීටී. ඔහු මෙම අදහස් පළකළේ ඊයේ හාලිඇලදී 8 වැනි රටවිරු පරිගණක විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
“ආකල්ප වෙනස් කර ඉදිරියට යන්න නම් නවීන තාක්‍ෂණය භාවිතා කරන්න ඕනේ. අපේ රටට වැඩියෙන්ම විදේශ විනිමය ගෙනෙන අය ගැන ලංකාවේ එතරම් පිළිගැනීමක් තිබුනේ නෑ. වැරදි ආකල්පයක් තිබුනේ. ඒත් ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගේන්නේ ඒ අය. ඒ නිසයි අපි ඒ අයට රටවිරුවෝ කියලා සමාජගත කළේ. එදා සාම්ප්‍රදායික කෘෂි අපනයන භෝගවලට තිබුන තැන අද රටවිරුවන්ට හිමිවෙලා. ගිය වසරේ ඩොලර් බිලියන 6ක් වූ තෙල් මිල ගෙව්වේ මොවුන් ගෙනා සල්ලි වලින්. මේ රටවිරුවන් අපි 365 දවස පුරා අගයන්න ඕනේ.”
“අද තරුණ පරපුර නවීන තාක්‍ෂණය භාවිතා කරනවා. සෑම තරුණයෙක් අතම ජංගම දුරකථන, ටැබ් වගේ නවීන තාක්‍ෂණික උපකරණ තියෙනවා. හැබැයි ඔවුන්ට ඒවා තමන්ගේ උවමනාවන් සඳහා භාවිතා කරන්න උපදෙස් දීලා නෑ. රට ඉන්න අම්මට කතා කරන්න IDD වලට ලොකු ගාස්තුවක් ගෙවන කොට Skype Facebook හරහා නොමිලේ පිටරට ඉන්න දෙමාපියන්ට කථා කරන්න වැඩපිළිවෙලක් යොදන්න ඕනි. ඒ නිසයි මේ ආකාරයට පරිගණක විද්‍යාගාර රටවිරු දරුවන් වෙනුවෙන් ඉදි කරන්න මම යෝජනා කළේ. අදවන විට දිවයින පුරා මෙම විද්‍යාගාර 8ක් පිහිටුවා තිබෙනවා. ” ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද රටවිරු පරිගණක විද්‍යාගාර ඉදිකිරීමට තමන් අදහස් කරන බව අමාත්‍යවරයා සඳහන් කලේය.
අවුරුද්දකට ඩොලර් බිලියන 6ක් පමණ එවන රටවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දූ දරුවන්ට අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර ඉදි කිරීමට වැයකරන මුදල් නාස්තියක් නොව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වීමේ ගමන්මගට ලබාදෙන ශක්තියක් බවද හෙතෙම කියා සිටියේය.
විදේශ රැකියා ලාභීන් හා ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙන් තොරතුරු තාක්‍ෂණ දැනුම ලබා දීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ උපදෙස් පරිදි ඉදිකල 8වන රටවිරු පරිගණක විද්‍යාගාරය ඊයේ (28) බදුල්ල හාලිඇල ප්‍රාදේශීය සභා සංකීර්ණයේදී විවෘත විය. මෙම පරිගණක විද්‍යාගාරය මගින් විදේශ රැකියා සඳහා පැමිණෙන ශ්‍රමිකයින්ට හා විදේශ රැකියාවල නිරත වූවන්ගේ දූ දරුවන්ට නොමිලේ පරිගනක සාක්‍ෂරතාව වර්ධනය කර ගැනීමට පහසුකම් සලසා ඇත. මෙහි පරිගණක 10 ක් පමණ ස්ථාපනය කර ඇති අතර අන්තර්ජාල පහසුකම්ද ඇතුළුව තොරතුරු හුවමාරු කර ගැනීමේ නවීන ක‍්‍රමවේද හා මූලික පරිගණක පාඨමාලාවන් හැදෑරීමට පහසුකම් සලසා ඇත.
මෙහිදී සමෘද්ධි සංවර්ධන බැංකුව මගින් රටවිරුවන් 12 දෙනෙකුට නිවාස ණය හිමිකම්පත්‍ර පිරිනමන ලදී. ආගරපතන දෙමළ විදුහලට පරිගණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවූ අතර මෙම අවස්ථාවට මයික්‍රොසොෆ්ට් ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකාරිනී ජානකී කරුණාරත්න හා ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධීන්ගේ සංගමයේ අධ්‍යක්‍ෂක දර්ශිකා ගුණමිණිගොඩ, ඌව පලාත් සභා මන්ති‍්‍ර නිලමේ වික‍්‍රමරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවා ගැනීම්) උදිත රෝහණ යන මහත්වරුන්ද එක්වී සිටියහ.
ඡායාරූපයේ දැක්වෙන්නේ පාසැල් සිසුවියක් කුවේට්හි සිටින තම පියා Skype මාර්ගයෙන් අමතන අයුරුයි. අමාත්‍යවරයාද පසෙකින් සිටියි.

20131029-img_4493.jpg

20131029-img_4470.jpg

20131029-img_4709.jpg