ශ්‍රී ලාංකික ඇඟලුම් සේවක සේවිකාවන් පිරිසක් ජෝර්දානයේ ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ විශේෂ නියෝජිතයන් දෙදෙනෙකු අද (28) ජෝර්දානය බලා පිටත්ව යති.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ නියමයකට අනුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ මඟ පෙන්වීම පරිදි මෙම නියෝජිතයන් දෙදෙනා ජෝර්දානය බලා පිටත්ව යන අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ නිලධාරියෙක් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් ඊට අයත් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් “දිනමිණ”ට පැවසීය.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන මේ නියෝජිතයන් දෙදෙනා ජෝර්දාන රජයේ නිලධාරීන් හා අදාළ ඇඟලුම් කම්හල්හි බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර එමඟින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට හැකි වෙතැයි විදේශ සේවා නියුක්ති කර්යාංශය විශ්වාසය පළ කරයි.

මේ අතර එම ප්‍රකාශකයා සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් ජෝර්දානයට රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කරන රැකියා නියෝජිතායතන නිලධාරීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවයි.