විවිධ ක්‍ෂේත්‍රයන්ට සම්බන්ධ අහිංසකයන් මරා දමා තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය වූ බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළේද ජනතා විමුක්ති පෙරමුණ බව ඒ මහතා පවසයි. විදේශ රැකියාවන්හි නියුතු වූවන් සිටින ස්ථාන වෙත ගොස් ගැටුම් ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව කී ඇමැතිවරයා එවැනි ස්ථානයන්හි ගැටලුකාරී තත්ත්වයක් ඇති කිරීමට රජය ක්‍රියා නොකළ බවද කීය.

ඇමැති ඩිලාන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඔලිම්පික් නිවහනේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. කටුනායක උද්ඝෝෂණයත් රොෂේන් ෂානකගේ මරණයත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මේ හමුව පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පටු දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට කටයුතු කරන අවස්ථාවක රටේ ආර්ථිකයට ශක්තිය දෙන විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට යෝජනා කිරීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පිරිනමන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇති වූ සිද්ධිය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා විරෝධතා පැවති ස්ථානයට ආයුධ රැගෙන යාමට කිසිවකුගේ අවසර ලැබී නැති බවද කීය. එවැනි අවසරයක් නොලැබුණු තත්ත්වයක් තුළ ආයුධ රැගෙන යාමේ වගකීම බාර ගනිමින් පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඉල්ලා අස්වූ බවද කීය. මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශයේ සාමාජිකයන් මරා දැමීමට ඔවුන් පාවා දුන් සහකාර පොලිස් අධිකාරී උඩුගම්පලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය උසස්වීමක් ලබා දෙමින් පොලිස් අධිකාරී තනතුරට පත් කළ බවත් උසාවියෙන් නියෝග කළ දඩ මුදල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ගෙවා දැමූ බවත් සිහිපත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ හැම විටම ක්‍රියා කළේ පුද්ගලයින් මරා ලේ තවරාගෙන තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටය. කටුනායක සිදුවීමේදී ඔවුන්ට අවශ්‍ය පරිදි සියල්ල පොලිසිය ඉටු කර දුන් බවද පෙරේරා මහතා කීය. කටුනායක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කී ඒ මහතා තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන බවද ඒ මහතා කීය. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබා දී ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය නවතා දැමීමට කටයුතු නොකරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය. අමාත්‍යාංශ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.

Source: http://www.dinamina.lk/2011/06/03/_art.asp?fn=n1106037