අම්මත් නැතිව වැඩකරලා ඇතිවෙලා අපි දෙන්නා අද එකටම මැරෙමු
සමන්ති වීරසේකර

�අම්මත් නැතුව හැමදාම වැඩකරලා ඇති වෙලා, අක්කේ අපි දෙන්නා අදම එකටම මැරෙමු� කී පහළොස් හැවිරිදි නංගි පිළිකන්නේ බාල්කයේ දැමූ එකම ලණුවේ දෙපැත්තේ අක්කා සමඟ ගෙල වැලලාගත් සිද්ධියක් දන්තුරේ උඩවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නැගණිය වන අගලගාපුවත්තේ ගෙදර දිල්හානී මධුෂිකා ජයසුන්දර (15) වන අතර 17 හැවිරිදි අක්කා බරපතල තුවාල සහිතව පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම දරුවන්ගේ මව වසර 5 කට සිට විදේශගතව ඇත. පෙදරේරුවකු වන පියා සහ අට හැවිරිදි බාල සහෝදරයා සමඟ සිද්ධියට අදාළ දරුවන් උඩවෙල නිවසේ පදිංචිව සිට ඇත. සිද්ධිය වූ දිනයේ උදේ කාලයේ සහෝදරියන් දෙදෙනා දළු කැඩීමට ගොස් ඇත. වැඩ අවසන් වී ආපසු එනවිට රාත්‍රි ආහාර පිසීමට වෙළෙඳපොළෙන් බඩු ද රැගෙන නිවසට එන අතරතුර �මැරෙමු� කියා දෙදෙනා කතාබස් කරමින් පැමිණ ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කඩුගන්නාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක බාලසූරිය, පොලිස් සැරයන් 64213 සමරකෝන් යන මහත්වරු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නැවත මව පැමිණෙනතුරු වැඩිමහල් දියණිය මවගේ දෙමව්පියන් භාරයේ තැබීමටත්, ඇය පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවට යොමු කිරීමටත් පොලිසිය කටයුතු කරයි.

Source: http://www.dinamina.lk/2011/02/15/_art.asp?fn=n11021511