සෞදි අරාබියේ සේවය කරමින් සිටිය දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මරණය වෙනුවෙන් ලේ වන්දියක් පිරිනැමීමට ඇයගේ හාම්පුතා තීරණය කර ඇත.

ඒ අනුව ඇගේ මරණයට වන්දි වශයෙන් සෞදි රියාල් 50,000ක මුදලක් සහ වසර දෙකක කාලයක් ඇයට නොලැබූ බව පවසන වැටුප් ලෙස සෞදි රියාල් 16,245ක මුදලක්ද ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලබාදීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි. මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි පවනි දේවි සින්නයියා නමැති 36 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව ගෘහ සේවය සඳහා සෞදි අරාබියාවට ගොස් ඇත්තේ පසුගිය 2008 වසරේදීය.

අල් - ජවුෆ් පළාතේ ක්වරායාත් ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී ඇයගේ මළ සිරුර හමුවීමෙන් පසු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය මිනී මැරුමක් බවට පොලීසිය විසින් තහවුරු කරන ගන්නා ලද අතර ඉන් පසුව අදාළ ගෙහිමියා අත්අඩංගුවට ගත්තේය.

මෙය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව පවනි දේවි සින්නයියාගේ පවුලේ ඥාතීන් වෙත අදාළ වන්දි මුදල ගෙවීමට ඝාතකයාගේ පියා එකඟ වූ බව රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

දෙපාර්ශවය අතර ගිවිසුමකට එළඹිමෙන් පසු අදාළ වන්දි මුදල ඊයේ (20) දිනයේදී සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදීමට නියමිතව තිබිණි.

Source: http://www.dinamina.lk/2011/07/21/_art.asp?fn=n1107213