මහින්ද අලුත්ගෙදර

සෙසු අන්තර් ජාතික ප්‍රජාව මෙන්ම ශ්‍රී ලංකාව ද ලිබියාවේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව කෙරෙහි විමසිල්ලෙන් පසුවන බව රජය අවධාරණය කරයි. සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී පවත්නා වෙනස්කම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ මඟකට යොමු විය යුතු අතර, ලිබියාව සමඟ දිගු කලක් සබඳතා පවත්වන ශ්‍රී ලංකාව එවැනි සාමකාමී වාතාවරණයකට ඉක්මණින්ම යොමු වෙතැයි අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රචණ්ඩකාරීත්වය හේතුවෙන් ජනතාවගේ තත්ත්වය පිරිහීමට ඉඩ දිය යුතු නැතැයි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහතික කරනු පිණිස ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි. ලිබියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සිටි ශ්‍රී ලාංකිකයන් ගෙන් වැඩි පිරිසක් මේ වන විටත් මෙරටට ගෙන්වා ගෙන තිබෙන අතර කැමැත්තෙන් එරට රැඳී සිටින පිරිසගේ ද ආරක්ෂාව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ලිබියාවේ, ට්‍රිපොලි නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද තාවකාලිකව වසා දැමීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙන අතර, එරට තත්ත්වය යහපත් වූ සැණින් යළි එම තානාපති කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Source: http://www.dinamina.lk/2011/03/23/_art.asp?fn=n11032320