කොරියාවේ රැකියාවේ යෙදී සිට යලි මව් බිමට පැමිණෙන තරුණ තරුණියන්ගේ හැකියාවන් මෙරට ආර්ථිකයේ සංවර්ධනය සඳහා සකී‍්‍රයව දායක කරගැනීමට ක‍්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. මේ වෙනුවෙන් කටයුතු කරන ඕනෑම සංගමයකට තම අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් සහය ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය. ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේ කොරියාවේ රැකියා වල නිරතව සිට නැවත මව් බිමට පැමිණෙන ශ‍්‍රමිකයන්ගේ සංගමය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි. කාර්යාංශයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මෙම උත්සවයේදී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා කියා සිටියේ කොරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එදා කම්කරු අමාත්‍යවරයාව සිටියදී මූලික අඩිතාලම දැමූ බවයි. එදා සිට අද දක්වා කොරියාවෙන් ශ‍්‍රී ලංකාවට ලැබෙන රැකියා ප‍්‍රමාණය වසරෙන් වසර වැඩි වන බව ද ඔහු අවධාරණය කළේය. මෙවර කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 60ක් ස්ථාපනය කිරීමට යෝජනා කළ ද ඒ සඳහා අවසර ලැබුණේ මධ්‍යස්ථාන 28ක් පිහිටුවීමට පමණි. කෙසේ වුවද එම මධ්‍යස්ථාන 28 මගින් ප‍්‍රවේශ පත‍්‍ර 51000ක් පමණ නිකුත් කිරීමට හැකිවූ බවත් මෙවර විභාගයෙන් කොරියානු රැකියා සඳහා 9400 දෙනකු පමණ තෝරාගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක් වූ ශී‍්‍ර ලංකාවේ දකුණු කොරියා තානාපති චොයි ජුන් මූන් Choi Gong Moon කියා සිටියේ කොරියානු රැකියා සඳහා ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වශයෙන් යොමු වන බවයි. එමනිසා මෙවැනි සංගමයක් පිහිටුවීම තමන් අගය කරන බව ද ඔහු සඳහන් කළේය. මෙහිදී ටයිකොන්ඩෝ සංදර්ශනයක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට කොරියානු රැකියා බලපත‍්‍ර ක‍්‍රමයේ ශී‍්‍ර ලංකා අධ්‍යක්ෂ කිම් යුන් හුන් Kim Kyun Hyun, කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ තරංග නලීන් ගම්ලත් යන මහත්වරුන් ද එක්වී සිටියහ.

(අමාත්‍යතුමන් විසින් එහිදී පළමු සාමාජිකාවහට අයදුම්පත‍්‍රය ලබාදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ)

20110822-picture_734.jpg

20110822-picture_982.jpg